ශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලන පද්ධතියම සහ සියලු දේශපාලන පක්ෂ දූෂිත වී ඇතැයි යන මතය, අද වන විට හුදෙක් විවේචනයක් පමණක් නොව, පොදු මහජන සිත් තුල ගැඹුරින්ම මුල් බැසගත් මනෝභාවයක් බවට පත්ව තිබේ. දශක ගණනාවක ආර්ථික පරිහානිය, ඥාති සංග්‍රහය, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය පද්ධතිමය බිඳවැටීම සහ දේශපාලන ප්‍රභූන් සම්බන්ධ වංචා-දූෂණ පිළිබඳ අඛණ්ඩ හෙළිදරව් කිරීම් මෙම තත්ත්වයට ප්‍රධාන හේතු සාධක විය.
වර්තමානයේ "දේශපාලනය" යන වචනය පවා සමාජය තුළ ඇති කරන්නේ බලවත් පිළිකුලකි. මෙය සරල අතෘප්තියක් නොව, දේශපාලනඥයන්ගේ වගකීම් විරහිත හැසිරීම් නිසා රටේ සමාජ, ආර්ථික සහ සදාචාරාත්මක විශ්වාසය සහමුලින්ම බිඳවැටීමේ ඛේදජනක ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය.
පුරවැසියන් ලෙස අපට දේශපාලනය කෙරෙහි කෙතරම් කලකිරීමක් තිබුණද, ඉන් ඉවත් ජීවත් වීමට කිසිවෙකුටත් නොහැකිය. මව් කුස පිලිසිද ගත් මොහොතේ සිට, මරණයෙන් පසු සිදුකරන වාර්ෂික දානමය පින්කම් දක්වා වන සමස්ත ක්‍රියාවලියම තීරණය වන්නේ රාජ්‍ය පාලන තන්ත්‍රය, ආර්ථික ප්‍රතිපත්ති සහ රාජ්‍ය සේවා යාන්ත්‍රණය මතය. එබැවින්, අප දේශපාලනයෙන් ඈත් වී සිටින බවක් මතුපිටින් පෙනෙන්නට තිබුණද, අපගේ දෛනික ජීවිතයේ සෑම අංශුවක්ම පාලනය කරනු ලබන්නේ දේශපාලන තීන්දු තීරණ විසිනි.
ශ්‍රී ලාංකීය දේශපාලන සංස්කෘතියේ පොදු ලක්ෂණය වන්නේ විපක්ෂයේ සිටින විට ආණ්ඩු පක්ෂයට "හොරු" ලෙස චෝදනා කිරීම සහ බලය හුවමාරු වූ පසු එම චෝදනාවම අනෙක් පාර්ශවය වෙත එල්ල වීමයි. වසර ගණනාවක් තිස්සේ දෝලනය වූ මෙම විෂම චක්‍රය හේතුවෙන්, ජනතාව සමස්ත දේශපාලනඥයන්ම එකම තලයක ලා සලකමින් "ඔක්කොම හොරු" යන පොදු ලේබලය ඇලවීමට හුරු වූහ.
පසුගිය වකවානුව තුළ ජනතා විමුක්ති පෙරමුණ (JVP-NPP) සමාජගත කළ ප්‍රධානතම තර්කය වූයේ, "අප මීට පෙර රාජ්‍ය පාලනය කර නොමැති බැවින් අප දූෂිත නැත" යන්නයි. මෙම සටන් පාඨය සමාජයේ විශාල ආකර්ෂණයක් දිනාගත් අතර, අනෙක් සියලු සාම්ප්‍රදායික පක්ෂ දූෂිතයන් බවට තහවුරු කිරීමට ඔවුන්ට එය මහඟු අවස්ථාවක් විය. කෙසේ වෙතත්, බලයට පත්වීමෙන් පසු ගෙවී ගිය කෙටි කාලය තුළදී, ගල්අඟුරු ගනුදෙනු, කන්ටේනර් ප්‍රතිඅපනයන සහ තවත් විවිධ මූල්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වත්මන් පාලනයටද චෝදනා එල්ල වීමත් සමඟ "දූෂණයෙන් තොර පක්ෂයක්" යන ප්‍රතිරූපය දැඩි අභියෝගයකට ලක්ව ඇත. මේ නිසා, වර්තමාන ජනතාව නැවතත් "උනුත් එකයි, මුනුත් එකයි, මුං ඔක්කොම එකයි" යන සාම්ප්‍රදායික කලකිරීම් සහගත ස්ථාවරයටම තල්ලු වී තිබේ.
අද සමාජයේ බහුලවම කතාබහට ලක්වන, සරදම් සහගත මෙන්ම යථාර්ථවාදී ප්‍රශ්නයක් වන්නේ, "හොරුන් අතරින් රටට වැඩක් කරන හොඳ හොරෙක් තෝරාග මුද..?" යන්නයි. මෙය විහිළුවක් ලෙස පෙනුනද, එය රටේ දේශපාලන පද්ධතිය කෙරෙහි ජනතාව තුළ පවතින අතිශය බිඳ වැටුණු විශ්වාසයේ කැඩපතකි. මෙහිදී පුරවැසියා ප්‍රායෝගිකව සිතන්නට පෙළඹී ඇත: "කිසිදු වැඩක් නොකර රටේ ධනය සූරා කෑ පාලකයන්ට වඩා, රටට යම් සංවර්ධනයක් ඉතිරි කරමින්, රට ඉදිරියට ගෙන යමින් යම් මූල්‍ය අවභාවිතයක් කළ නායකයෙකු වටින්නේ නැද්ද..?"
මෙම පසුබිම තුළ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ සංවර්ධනය සම්බන්ධයෙන් සුවිශේෂී සලකුණු තැබූ නායකයන් තිදෙනෙකු පිළිබඳව සමාජය තුළ නැවතත් සාකච්ඡාවක් නිර්මාණය වී තිබේ:
ඒ ජේ.ආර්. ජයවර්ධන - විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් රට තුළ දැවැන්ත ආර්ථික හා භෞතික පෙරළියක් සිදු කිරීම.
මහින්ද රාජපක්ෂ - දශක තුනක යුද්ධය නිමා කරමින්, මහා පරිමාණ යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘති රටට දායාද කිරීම. රනිල් වික්‍රමසිංහ - 2001 සහ විශේෂයෙන්ම 2022 වසරේදී රට මුහුණ දුන් දරුණුතම ආර්ථික බිඳ වැටීම් හමුවේ රාජ්‍යය ස්ථාවර කිරීමට සමත් වීම.
ඉදිරියේදී රට නැවතත් ආර්ථික අගාධයකට ඇද වැටීමේ අවදානමක් පවතින මෙවැනි වටපිටාවක, මෙම පරිණත නායකත්වයන්ගේ භූමිකාවන් දෙස ජනතාව වඩාත් ප්‍රායෝගික ඇසකින් බැලීමට පෙළඹී ඇත.
මීළඟ මැතිවරණයේදී ඡන්දදායකයා මුහුණ දෙන තවත් විකල්ප තේරීමක් වන්නේ, "තවත් වරක් පාලන අත්දැකීම් නොමැති (L-Board) නව කණ්ඩායමකට අවස්ථාවක් ලබා දෙමුද..?" යන්නයි. මෙහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ සර්ව ජන බලය වැනි නව දේශපාලන සන්ධාන කෙරෙහි අවධානය යොමු වේ.
කෙසේ වෙතත්, පෙරටුගාමීන් යනු වත්මන් JVP-NPP මතවාදයේම තවත් දිගුවක් ලෙස පොදු සමාජය සලකන බැවින්, සාම්ප්‍රදායික නොවන විකල්පයක් සොයන ජනතාවගේ අවධානය වැඩි වශයෙන් යොමු වෙමින් පවතින්නේ 'සර්ව ජන බලය' වැනි නව දේශපාලන බලවේගයන් වෙතය. අවසාන වශයෙන්, මෙම සියලු බලවේග අතරින් රට මෙහෙය විය යුතු පාර්ශවය තීරණය කිරීමේ පරමාධිපත්‍ය බලය පවතින්නේ ජනතාව සතුවය.
ශ්‍රී ලංකාවේ දේශපාලන යාන්ත්‍රණය කෙරෙහි පොදු මහජන විශ්වාසය සහමුලින්ම පළුදු වී ඇතත්, අපට දේශපාලනයෙන් පලා යා නොහැකිය. එළඹෙන මැතිවරණය යනු හුදෙක් "හොරුන් අතරින් වඩා හොඳම කෙනා" තෝරා ගන්නා සාම්ප්‍රදායික සූදුවක් නොවිය යුතුය. එය, රට තව දුරටත් ආගාධයට ඇද දමන බොරු පොරොන්දු සහ දේශපාලන සටන් පාඨ වෙනුවට, රටට වග කියන, ස්ථාවර "දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති මාලාවක්" සහිත පාලනයක් රට තුළ ස්ථාපිත කිරීමට ශ්‍රී ලාංකීය පුරවැසියාට ලැබෙන අවසන් සහ තීරණාත්මක අවස්ථාව විය හැකිය.

Lanka Newsweek © 2026